අල්සයිමර්ස් ඩිමෙන්ශියා

ඩිමෙන්ෂියා යනු සහලක්ෂණයක් (එකිනෙකට සබැඳි රෝග ලක්ෂණ එකතුවක්) වන අතර එහිදී මොළයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පරිහානියට පත්වේ. එය මතකය, චින්තන කුසලතාවය සහ අනෙකුත් මානසික හැකියාවන්ට බලපෑ හැකිය. අල්සයිමර්ස් රෝගයට නියම හේතුව තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැතත්, එම රෝග තත්වය වැළදීමට ඇති අවදානම වැඩි කරන නොයෙක් දේ සොයාගෙන ඇත. ඒවා නම්:

  • වයස්ගත වීම
  • රෝග තත්ත්වය හා සම්බන්ධ පවුල් ඉතිහාසය
  • ප්‍රතිකාර නොකරන ලද විශාදය(depression), විශාදය ඇල්සයිමර්ස් රෝගයේ රෝග ලක්ෂණයක්ද විය හැකිය
  • ජීවන රටාව සහ හෘද රෝග හා සබැඳි තත්ව

අල්සයිමර්ස් රෝගයේ රෝග ලක්ෂණ හා සංඥා

ඇල්සයිමර්ස් රෝගය ක්‍රමයෙන් වැඩි වන රෝගයකි, එනම් රෝග ලක්ෂණ වසර ගණනාවක් පුරා ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදී වඩා උග්‍ර වේ. එය මොලයේ ක්‍රියාකාරම් බොහොමයකට බලපායි. බොහෝවිට ඇල්සයිමර්ස් රෝගයේ මුල් රෝග ලක්ෂණය වන්නේ මතකය සම්බන්ධ සුලු ගැටලුකාරී තත්වයන්ය. උදාහරණ ලෙස ආසන්නතම කතාබහක් හෝ සිද්ධීන් අමතක වීම, සහ ස්ථාන හා ද්‍රව්‍ය වල නම් අමතක වීමක් විය හැකිය. තත්වය වර්ධනය වත්ම මතකය හා සම්බන්ධ ගැටළු උග්‍ර වී තවත් රෝග ලක්ෂණ ඇතිවිය හැකිය, ඒවා නම්:

  • ආකූල බව, වියවුල් බව සහ හුරුපුරුදු ස්ථාන වල පවා අතරමං වීම
  • සැලසුම් කිරීමේ හෝ තීරණ ගැනීමේ අපහසුතාව
  • කථනය හා භාෂාව සම්බන්ධ ගැටළු
  • උදව්වකින් තොරව ඇවිදීමේ හෝ තමාගේ සාත්තු කටයුතු කරගැනීමේ ගැටළු
  • කලහකාරීබව, බලකිරීම් කරන සුළු වීම සහ අන් අය සැක කිරීම වැනි පෞරුෂත්වයේ වෙනස්වීම්
  • භ්‍රාන්තීන් (ඇත්තටම නැති දෙයක් දැකීම හෝ ඇසීම) හා මායා විශ්වාසයන් (සත්‍ය නොවන දේ විශ්වාස කිරීම)
  • දුක්මුසු ස්වභාවය හා කාංසාව

රෝගයේ බලපෑම කාටද?

ඇල්සයිමර්ස් රෝගය සුලබම වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් තුලයි. වයස්ගත වීමත් සමග ඇල්සයිමර්ස් රෝගය සහ අනෙකුත් ඩිමෙන්ෂියා තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩිවේ, වයස අවුරුදු 65ට වැඩි සෑම 14 දෙනෙකුන්ගෙන් එක අයෙකුටද, වයස 80 ට වැඩි සෑම හය දෙනෙකුගෙන් එක අයෙකුටද මෙය වැළඳේ. නමුත් ඇල්සයිමර්ස් රෝගය වැළදුනු සෑම 20 දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 40ත් 65ත් අතර වේ. මෙය හඳුන්වන්නේ මුල් හෝ තරුණ වයසේදී ඇතිවන ඇල්සයිමර්ස් රෝගය ලෙසයි.

රෝග විනිශ්චය කිරීම

ඇල්සයිමර්ස් රෝගයේ රෝගලක්ෂණ වැඩිවන්නේ සෙමින් නිසා, ගැටළුවක් ඇති බව හඳුනා ගැනීම අපහසු විය හැකිය. බොහෝ අයට දැනෙන්නේ මතකය හා සම්බන්ධ ගැටළු සරලවම වයසට යාමේ එක් අංගයක් ලෙසටයි. තවද රෝගයේ ක්‍රියාකරිත්වයම (නමුත් සෑම විටම නොවේ) පුද්ගලයාට තමාගේ මතකයේ ඇතිවන වෙනස් වීම් හඳුනා ගැනීම වලකයි. නමුත් ඇල්සයිමර්ස් රෝගය යනු "සාමාන්‍ය" වයස්ගත වීමේ ක්‍රියාවලියේ අංගයක් නොවේ. නිවැරදිව හා කාලීනව ඇල්සයිමර්ස් රෝගය හඳුනා ගැනීම මගින් ඔබට ඒ සඳහා සූදානම් වීමට හා සැලසුම් කිරීමටත්, ඔබට උදව්වක් විය හැකි යම් ප්‍රතිකාරයක් හෝ උපකාරක සේවාවක් ලබා ගැනීමටත් හොඳම අවස්ථාව ලැබේ. ඔබ, ඔබගේ මතකය ගැන කනස්සල්ලෙන් සිටින්නේ නම් හෝ ඔබට ඩිමෙන්ෂියාව ඇතැයි සිතන්නේ නම් ඔබගේ වෛද්‍යවරයාව හමුවීම කදිම අදහසකි. හැකිනම්, ඔබව හොඳින් දන්නා කෙනෙකු ඔවුන්ට නිරීක්ෂණය වී ඇති යම් වෙනස්කම් හෝ ගැටළු විස්තර කිරීමට ඔබත් සමග සිටිය යුතුය. ඔබ වෙනත් කෙනෙකු ගැන වද වෙන්නේ නම්, ඔවුන්ව වෛද්‍යවරයෙකු හමුවීමට යාමට දිරිමත් කිරීම සහ ඔබත් ඔවුන් සමග යාමට යෝජනා කරන්න. ඇල්සයිමර්ස් රෝගය විනිශ්චය කර ගැනීමට තනි පරීක්ෂණයක් නොමැත. තවද මතකය සම්බන්ධ ගැටළු තිබීමෙන් කියවෙන්නේ ඇල්සයිමර්ස් රෝගයම ඇති බව නොවන වග මතකයේ තබා ගැනීම වැදගත්ය. ඔබේ වෛද්‍යවරයා ඔබට ඇති ගැටළු සම්බන්ධයෙන් ඔබෙන් ප්‍රශ්න ඇසීම සහ වෙනත් රෝග තත්ත්වයන් නැතැයි තහවුරු කිරීම පිණිස පරීක්ෂණ කිහිපයක් කරාවි. ඇල්සයිමර්ස් රෝගය බවට සැක ඇති වුවහොත් පහත දේ සඳහා ඔබව විශේෂඥ සේවාවක් කරා යොමු කරනු ඇත:

  • ඔබේ රෝග ලක්ෂණ සවිස්තරාත්මකව විශ්ලේෂණයට
  • අවශ්‍ය නම් මොලයේ ස්කෑන් පරික්ෂා වැනි වැඩිදුර පරීක්ෂණ වලට
  • ප්‍රතිකාර හා සාත්තු සැලැස්මක් සෑදීමට

ඇල්සයිමර්ස් රෝගයට ප්‍රතිකාර කරන ආකාරය

දැනට ඇල්සයිමර්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැත, නමුත් සමහර රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා වූ ඖෂධ ඇත. ඇල්සයිමර්ස් රෝගය සමග ජීවත් වන්නන්ට හැකිතාක් ස්වාධීනව ජීවත් වීම සදහා වෙනත් විවිධ වර්ගයේ උපකාර ඇත, එනම් පහසුවෙන් ගමන් කිරීමට හා දෛනික කටයුතු මතකයට නැගෙන ආකාරයට ඔබගේ නිවසේ පරිසරය වෙනස් කල හැකිය. ඔබගේ මතකය පවත්වා ගැනීම, ගැටළු විසඳීමේ කුසලතාවයන් හා භාෂා හැකියාවන්ට දිරි දීමට සංජනන උත්තේජනය වැනි මානසික ප්‍රතිකාර ක්‍රම ලබා දිය හැක.

ඉදිරි දැක්ම

ඇල්සයිමර් රෝගය වැලදී ඇති අයට රෝග ලක්ෂණ ඇති වීම ආරම්භ වූ පසුවද වසර ගණනාවක් ජීවත් විය හැකිය. නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට සැලකිය යුතු ලෙස වෙනස් වේ. ඇල්සයිමර්ස් රෝගය ආයු කාලය අඩු කරන රෝගයක් නමුත් රෝගය වැලදී ඇති බොහෝ දෙනා වෙනත් හේතූන් නිසා මිය යයි. ඇල්සයිමර්ස් රෝගය ක්‍රමයෙන් වැඩිවන ස්නායු රෝග තත්වයක් වන නිසා ගිලීමේ අපහසුතාවයන් ඇති විය හැකිය. මෙනිසා පිට උගුරේ යාම (පෙනහළු තුලට අහාර ඇතුළු වීම) සිදු වී නිරන්තරයෙන්ම පෙනහළු අසාදන ඇති විය හැකිය. ඇල්සයිමර්ස් රෝගය වැලදී ඇති අයට අවසානයේදී අහාර අරුචිය හා අහාර ගැනීමේ අපහසුතාවය ඇති වීම බහුලව දක්නට ලැබේ. ඇල්සයිමර්ස් රෝගයෙන් පෙළෙන්නන්ට සහන සත්කාර අවශ්‍ය බවට දැනුවත් බව වැඩි වෙමින් පවතී. මීට ඇල්සයිමර්ස් රෝගය ඇති පුද්ගලයාට මෙන්ම පවුලටද උපකාර සැලසීම ඇතුළත් වේ.

ඇල්සයිමර්ස් රෝගය වළක්වා ගැනීමට හැකිද?

ඇල්සයිමර්ස් රෝගයට නිශ්චිත හේතුව අපැහැදිලි නිසා එය වළක්වා ගැනීමට ක්‍රමයක් නොමැත. නමුත් ඔබට ඩිමෙන්ෂියාව ඇති වීම පමා කිරීමට හෝ ඇති වීමේ අවදානම අඩු කිරීමට කල හැකි දේවල් ඇත, ඒවා නම්:

  • දුම්පානය නතර කිරීම හා මත්පැන් පානය අඩු කිරීම
  • නිරෝගී, සමබල ආහාර ගැනීම සහ නිරෝගී බරක් පවත්වා ගැනීම
  • කායිකව සවිමත්ව සිටීම සහ මානසිකව ක්‍රියාකාරී වීම

මෙම පියවර මගින් ඔබට හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කිරීම සහ ඔබේ සමස්ත මානසික සෞඛ්‍ය වර්ධනය වැනි වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාබ ද ලැබේ.

#