විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවය වැළඳෙන්නේ, සම්පූර්ණයෙන් ක්‍රියාකාරී රතු රුධිර සෛල ශරීරය විසින් නිපදවීමට මෙම විටමින් එකක් හෝ අඩු වීම බලපෑ විටයි.

රතු රුධිර සෛල ශරීරය පුරා ඔක්සිජන් ගෙන යයි. විටමින් B12 හෝ ෆෝලේට් (folate) ඌන රක්තහීනතාවය ඇති බොහෝ මිනිසුන්ට සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල, වර්ධනය හීන වූ රතු රුධිර සෛල ඇත. වෛද්‍ය විද්‍යාවේ මෙය හඳුන්වන්නේ මෙගලොබ්ලාස්ටික් ඇනීමියා(megaloblastic anaemia) ලෙසයි.

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවය විවිධාකාර ගැටලු වල ප්‍රථිඵලයක් විය හැක.

විටමින් B12 ඌනතාවයට හේතූන්

විසකුරු රක්තහීනතාවය(පර්නිෂස් ඇනීමියා - pernicious anaemia) විසකුරු රක්තහීනතාවය ඔබගේ ආමාශයට බලපාන ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයකි.

ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් යනු රෝග හා ආසාදන වලට එරෙහිව ශරීර ආරක්ෂා කරන, ශරීරයේ ස්වභාවික ආරක්ෂක පද්ධතිය හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඔබගේ ශරීරයේ නීරෝගි සෛල වලට හානි කිරීමයි.

විටමින් B12 ඔබගේ ආමාශයේ තිබෙන අභ්‍යන්තරස්ථ සාධකය නමින් හැඳින්වෙන ප්‍රෝටීනයක් සමඟ සම්බන්ධ වී ඇත. මෙම විටමින් B12 සහ අභ්‍යන්තරස්ථ සාධකය නම් එකතුව ඊළඟට අන්ත්‍රයේ ලුටනිය නම්, ශුන්‍යාන්ත්‍රය හා උණ්ඩුකය අතර ඇති කොටසෙන් ශරීරයට අවශෝෂණය කර ගනී.

විසකුරු රක්තහීනතාවය, ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් අභ්‍යන්තරස්ථ සාධකය නිපදවන ආමාශයේ ඇති සෛල වලට හානි කිරීමට හේතු වන අතර එමගින් ඔබගේ ශරීරයට විටමින් B12 අවශෝෂණය කර ගැනීමට නොහැකි වේ.

විසකුරු රක්තහීනතාවය(pernicious anaemia) සඳහා නිශ්චිත හේතුව නොදන්නා නමුත්, එය වයස අවුරුදු 60ක් පමණ වන කාන්තාවන් අතර, අදාළ තත්වය සඳහා පවුල් ඉතිහාසයක් ඇති මිනිසුන් අතර සහ ඇඩිසන්ස් රෝගය(Addison's disease) හෝ විටිලයිගෝ (vitiligo) වැනි වෙනත් ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් ඇති අය අතර එය බහුල වේ.

ආහාර ආහාර වලින් ප්‍රමාණවත් තරම් විටමින් B12 නොලැබීමේ හේතුවක් ලෙස සමහර මිනිසුන්ට විටමින් B12 ඌනතාවය සෑදිය හැක.

මස්, මාලු සහ කිරි ආහාර ඇතුළත් වන ආහාර වේලක් මගින් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් තරම් විටමින් B12 සපයන නමුත්, මේ ආහාර නිතිපතා නොගන්නා, නිර්මාංශ ආහාර ගන්නා හෝ සාමාන්‍යයෙන් ඉතා දුප්පත් ආහාර වේලක් ගන්නා මිනිසුන්ට ඌනතාවයක් ඇති විය හැක.

ශරීරයේ ඇති විටමින් B12 ගබඩාවන්, නැවත පුරවා ගැනීමෙන් තොරව අවුරුදු 2 සිට 4 දක්වා කාලයක් පවත්වා ගත හැකි අතර එමගින් ආහාර වේලෙහි සිදුවන වෙනස් වීමකින් පසුව යම්කිසි ගැටලුවක් ඇති වීමට දිගු කාලයක් ගත හැක.

ආමාශයට බලපාන තත්ත්වයන් ඇතැම් ආමාශයික තත්ත්ව හෝ ආමාශයික ශල්‍යකර්ම මගින් ප්‍රමාණවත් තරම් විටමින් B12 අවශෝෂණය වැළැක්විය හැක.

උදාහරණයක් වශයෙන, ඔබේ ආමාශයෙන් කොටසක් ඉවත් කිරීම සිදු කරන ශල්‍ය ක්‍රියාවලියක් වන ජඨර විච්චේදනය(ගැස්ට්‍රෙක්ටමි-gastrectomy), ඔබට විටමින් B12 ඌනතාවයක් ඇති වීමේ අවදානම වැඩි කරයි.

අන්ත්‍රයට බලපාන තත්ත්වයන් ඔබේ අන්ත්‍රයට බලපාන ඇතැම් තත්ත්වයන් ද ඔබ විසින් අවශ්‍ය ප්‍රමාණයට විටමින් B12 අවශෝෂණය කිරීම නවත්වයි.

උදාහරණයක් ලෙස, ආහාර ජීර්ණ පද්ධතියේ ඇතුල් ප්‍රදේශය ආවරණයේ ප්‍රදාහයක් ඇති වීමට හේතු වන දිගු කාලීන තත්ත්වයක් වන ක්‍රොන්ස් රෝගය<(Crohn's disease)/0>, ඇතැම් විට අදහස් කරන්නේ ඔබගේ ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් B12 නොලැබෙන බවයි.

ඖෂධ ඇතැම් ඖෂධ වර්ග ඔබගේ ශරීරයේ ඇති විටමින් B12 ප්‍රමාණය අඩු කිරීමට හේතු විය හැක.

උදාහරණයක් ලෙස, ආහාර අජීර්ණය ට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන, ප්‍රෝටෝන පොම්පය වලක්වන ඖෂධ (PPI) වලට විටමින් B12 ඌනතාවය වඩාත් උග්‍ර කළ හැක.

PPI ඖෂධ මගින් ඔබ කන ආහාර වලින් විටමින් B12 නිදහස් කිරීමට අවශ්‍ය වන ආමාශයික අම්ලය සෑදීම වළක්වයි.

ඔබේ වෛද්‍යවරයා ඔබගේ විටමින් B12 මට්ටම් වලට බලපාන ඖෂධ පිළිබඳව දැනුවත් වනු ඇති අතර අවශ්‍ය නම් ඔබව අධීක්ෂණය කරනු ඇත.

ක්‍රියාකාරී විටමින් B12 ඌනතාවය සමහර මිනිසුන්ගේ රුධිරයේ විටමින් B12 සාමාන්‍ය මට්ටම් වලින් තිබුණ ද ඔවුන්ට විටමින් B12 ඌනතාවයට සම්බන්ධ ගැටලු අත්විඳින්නට සිදු විය හැක.

මෙය, ක්‍රියාකාරී විටමින් B12 ඌනතාවය නමින් හඳුන්වන ගැටලුවේ ප්‍රතිඵලයක් ලෙස සිදු විය හැකි අතර එහිදී විටමින් B12 සෛල අතර පරිවහනය කරන ප්‍රෝටීන වල ගැටලුවක් ඇති වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සුෂුම්නාව සම්බන්ධ ස්නායු සංකූලතා ඇති වේ.

ෆෝලේට් ඌනතාවය සඳහා හේතූන්

ෆෝලේට් ජලයේ දිය වන අතර ඔබගේ ශරීරයට එය දිගු කාලයක් පුරාවට ගබඩා කළ තබා ගැනීමට නොහැකි බව ඉන් අදහස් වේ.

ඔබගේ ශරීරයේ ෆෝලේට් ගබඩාව සාමාන්‍යයෙන් මාස 4කට පැවතීමට ප්‍රමාණවත් වේ. මින් අදහස් වන්නේ ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් විටමින් ගබඩා තිබෙන බවට තහවුරු කිරීමට ඔබේ දිනපතා ආහාර වෙලෙහි ෆෝලේට් තිබීමට අවශ්‍ය වේ.

විටමින් B12 ඌන රක්තහීනතාවය මෙන්ම, ෆෝලේට් ඌන රක්තහීනතාවය ද හේතු ගණනාවක් නිසා ඇති විය හැක.

ආහාර හොඳ ෆෝලේට් මූලාශ්‍ර වලට බ්‍රෝකෝලි, බ්‍රසල්ස් ස්ප්‍රවුට් , හාතවාරිය, මුං ඇට, කඩල සහ දුඹුරු සහල් අයත් වේ.

ඔබ නිතිපතා මෙවැනි ආහාර වර්ග ආහාරයට නොගත්තොත්, ඔබට ෆෝලේට් ඌනතාවයක් ඇති විය හැක.

ආහාර වේලේ ෆෝලේට් අඩු වීමෙන් සෑදෙන ෆෝලේට් ඌනතාවය, සාමාන්‍යයෙන් සමබල නොවන හා සෞඛ්‍යයමත් නොවන ආහාර ගන්නා අය, නිතිපතා අනිසි ලෙස මත්පැන් භාවිතා කරන අය සහ හොඳ ෆෝලේට් මූලාශ්‍ර වලින් තොර සුලබ ආහාර ගන්නා අය අතර බහුල වේ.

අවශෝෂණය අඩුවීම ඔබගේ ශරීරය ඵලදායී ලෙස ෆෝලේට් අවශෝෂණය කළ යුතු වුවත් ඇතැම් විට ඔබගේ ශරීරයට ඵලදායි ලෙස ෆෝලේට් අවශෝෂණය කර ගැනීමට නොහැකි විය හැක. මෙයට සාමාන්‍යයෙන් සීලියැක් රෝගය (coeliac disease) වැනි ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියට බලපාන මූලික තත්ත්වයක් හේතු වේ.

අධික ලෙස මුත්‍රා පිටවීම ඔබ නිතර නිතර මුත්‍රා කරන්නේ නම් ඔබට ඔබේ ශරීරයෙන් ෆෝලේට් අහිමි විය හැක. මෙයට, පහත දැක්වෙන පරිදි ඔබගේ අවයවයකට බලපාන මූලික තත්ත්වයක් හේතු විය හැක:

  • සංකූල හෘද අකරණිය (heart failure) – එහිදී හදවතට අවශ්‍ය තරම් රුධිරය ශරීරය පුරා පොම්ප කිරීමට නොහැකි වේ
  • උග්‍ර අක්මා හානි වීම - අධික ප්‍රමාණ වලින් මත්පැන් පානය කිරීම බොහෝ විට හේතු වේ
  • දිගු කාලීන කාන්දුපෙරණය – එහිදී යන්ත්‍රයක් මගින් වකුගඩු වලට අනුරූප කාර්යය කිරීමට භාවිතා වන අතර රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරීමට භාවිතා වේ

ඖෂධ ඇතැම් ඖෂධ වර්ග ඔබගේ ශරීරයේ ඇති ෆෝලේට් ප්‍රමාණය අඩු කිරීම හෝ ෆෝලේට් අවශෝෂණය කිරීම අසීරු කරයි.

මේවාට සමහර ඇන්ටිකන්වල්සන්ට්ස් (anticonvulsants -අපස්මාරය ට ප්‍රතිකාර කරන ඖෂධ), කොලෙස්ටයිරමින් (colestyramine), සල්ෆසැලසින් (sulfasalazine) හා මෙතොට්‍රික්සේට් methotrexate) ඇතුළත් වේ.

ඔබේ වෛද්‍යවරයා ඔබගේ ෆෝලේට් මට්ටම් වලට බලපාන ඖෂධ පිළිබඳව දැනුවත් වනු ඇති අතර අවශ්‍ය නම් ඔබව අධීක්ෂණය කරනු ඇත.

වෙනත් හේතූන් ඔබේ ශරීරයට ඇතැම් විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ෆෝලේට් ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඔබට ශරීරයේ අවශ්‍යතාව පරිදි විටමින් සැපයීමට නොහැකි වුවොත්, මෙය ෆෝලේට් ඌනතාවයට හේතු විය හැක.

ඔබේ ශරීරයට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ෆෝලේට් අවශ්‍ය විය හැක්කේ ඔබ:

  • ගර්භණී නම්
  • පිළිකාවක් තිබේ නම්
  • රුධිර අබාධයක් තිබේ නම් - දෑකැති සෛල රක්තහීනතාවය (සිකල් සෙල් ඇනිමියා -sickle cell anaemia) වැනි රතු රුධිර සෛල වලට අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට හේතු වන පරම්පරාවෙන් උරුම වන රුධිර ආබාධයක්

    • ඔබ ආසාදනයක් හෝ ප්‍රදාහයක් (රතු වීම හා ඉදිමීම) ඇති කරන සෞඛ්‍ය තත්ත්වයක් සමග සටන් කරන්නේ නම්

නොමේරු ළදරුවන්ට (ගර්භණීභාවයෙන් 37 වන සතියට පෙර ඉපදුනු) ෆෝලේට් ඌනතාවය වැළඳීමට වැඩි ඉඩකඩක් ඇති අතර එයට හේතු වන්නේ ඔවුන්ගේ වර්ධනය වන ශරීර වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ෆෝලේට් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වීමයි.

ගර්භණීභාවය ඔබ ගර්භණී හෝ ඔබ ගර්භණී වීමට ඉඩකඩ තිබේ නම්, ගර්භණීභාවයට පෙර ෆෝලික් ඇසිඩ් පෙත්ත මයික්‍රොග්‍රෑම් 400ක් දිනපතාම සහ ගර්භණීභාවයෙන් සති 12ක් යන තෙක් ගැනීමට නිදේශ කර ඇත.

මෙමගින් ඔබ සහ ඔබේ දරුවා යන දෙදෙනාටම ප්‍රමාණවත් තරම් ෆෝලේට් ඇති බව සහතික වීම හා ඔබේ දරුවාගේ වැඩීමට හා සංවර්ධනයට උපකාර කරයි.

ඔබ ගර්භණී සහ තවත් රෝගි තත්ත්වයක් ඇත්නම් එයට ඔබගේ ශරීරයේ ෆෝලේට් අවශ්‍යතාව වැඩි කළ හැකි අතර වෛද්‍යවරයා ඔබව රක්තහීනතාවයෙන් වැළැක්වීමට ඔබව සමීපව අධීක්ෂණය කරනු ඇත.

සමහර තත්ත්ව වලදී, ඔබට ෆෝලික් අම්ලය ඉහල මාත්‍රාවක් අවශ්‍ය විය හැක. උදාහරණයක් ලෙස, ඔබට දියවැඩියාව තිබේ නම්, ඔබ සම්මත මයික්‍රොග්‍රෑම් 400 වෙනුවට ෆෝලික් අම්ල අතිරේකය මිලිග්‍රෑම් 5ක් (5mg) ගත යුතුය.

ඔබේ වෛද්‍යවරයා ෆෝලික් අම්ලය ඉහළ මාත්‍රාවක් නියම කළ හැක.